ඕගොල්ලෝ මැයි පෙළපාළි යන්න… අපිට වෙනවැඩ තියෙනවා !


TheIndependent - මැයි දිනය හෙවත් කම්කරු දිනයට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු දින ගණනක්. ලෝකය ගොඩනංවන්නේ මිනිස් ශ‍්‍රමයෙන්. එම ශ‍්‍රමය වගුරවනුයේ වැඩ කරන ජනතාව. වෙනත් විදිහකින් කියනව නම් කම්කරුවන්. ඉතින් මේ ලෝකය ගොඩනඟන මිනිස්සුන්ට මිනිස් ලෝකය තුළ වෙන් වී ඇත්තේ ද එක දවසයි.
ඒ දවසත් පිනට ලැබුණු එකක් නම් නෙමෙයි. සටන් කරලා දිනා ගත්ත දවසක්. කම්කරුවො අරගල කරලා ඒ දිනය දිනා ගත්ත විදිහ ගැන පුරාවෘත්තය ඉතිහාසයක් පුරා ඇති තරම් පට්ට ගහලා තියෙන හින්දා ඒ ඉතිහාසයම පුනරුච්චාණය කරනවා වෙනුවට වර්තමානය ගැන කතා කරන්න ඕන කියලා අපිට හිතුණා.

අලංකාර වේදිකා
අවුරුද්දේ දවස් තුන්සිය හැටපහෙන් එක දවසක් හරි තමන්ටම කියලා වෙන් වෙච්ච දා ඉඳලා වැඩ කරන මිනිස්සු හැම අවුරුද්දකම මැයි මාසේ පළවෙනිදා ඒ දිනය සමරන්න සටන් පාඨ කියමින් පෙළපාළි ගියා. රැස්වීම් තිබ්බා. ඒ පෙළපාළිවල ජවයක් දක්නට ලැබුණේ ඊට එක්වන කම්කරුවන්ගේ සටන්කාමී බව නිසයි. අදත් මිනිස්සු පෙළපාළි යනවා. රැස්වීම් සංවිධානය වෙනවා. අලංකාර වේදිකා ගොඩනැඟනවා. ඒවායේ නැඟලා දේශපාලකයොයි, වෘත්තීය සමිති නායකයොයි ගිරිය කඩාගෙන බිරුසන් දෙනවා. කතාවලින් ධනපතියො පරසක්වල ගහනවා.

අනුගාමිකයො වේදිකා පාමුල ඉඳලා අත්පොළසන් දීලා හිතින් ධනපතියො බංග කරලා රාත‍්‍රියට ගෙදර ගිහින් නිදා ගන්නවා.
දේශපාලන පක්ෂවල සාමාජිකයො, හිතවතුන් වුණත් මේ අයත් වැඩි දෙනෙක් වෙන් වෙන්ව ගත්තම එදිනෙදා ජීවත් වීමේ අරමුණින් කාගේ හරි ගාව වැටුප් ශ‍්‍රමයට කඹුරන පිරිසක්. හැබැයි පොදු වර්ගීකරණය ඇතුළෙ දි ඔවුන් එක් එක් දේශපාලන පක්ෂවල සාමාජිකයන් හා හිතවතුන් මිසක් කම්කරුවො නෙවෙයි. ඒ නිසාම පෙළපාළි යන්නේ අර කම්කරු පන්තියේ අර්ථයෙන් නෙවෙයි. දේශපාලන පක්ෂයක ක‍්‍රියාධරයකුගේ අර්ථයෙන්. වාමාංශික දේශපාලන පක්ෂවල නම් නායකයොයි සාමාජිකයොයි පෙළපාළි යන එකේ හරි, මැයි දිනය සමරන එකේ හරි වරදක් නෑ. ඒත් ඒ, පන්තිය සංවිධානය කරන අර්ථයෙන් ඒක කරනව නම් විතරයි. එහෙම නැතුව පක්ෂයේ බලය පෙන්නන්න හරි සාමාජිකයො ආකර්ෂණය කරගන්න හරි ඒවා කරනව නම් වැඩක් නෑ. ඒත් අකැමැත්තෙන් හරි කියන්න ඕන, තාමත් වෙන්නේ නම් ඒකම තමයි. ඒ නිසා තමයි මැයි දිනයට පෙළපාළි යන්න කම්කරුවො එකතු කරන්න යන වමේ පක්ෂවල සහෝදරයන්ට පන්තියේ ඇත්ත කම්කරු පිරිස පෙළපාළිවලට එක්ක යන්න බැරි වෙලා තියෙන්නෙ.

මැයි දින යෝජනාවක්
දැන් මේ ප‍්‍රශ්නෙ දි සුනිල් පෙරේරා ගායනා කරන සින්දුවෙ දි වගේම වමේ දේශපාලන පක්ෂවලටත් ‘‘එහෙම වෙන්නෙ ඇයි?’’ කියන ප‍්‍රශ්නය තමන්ගෙන්ම අහන්න පුළුවන්. ඒත් ඒකට වම විසින් සපයන්නෙත් සුනිල් පෙරේරා දෙන උත්තරේම නං (I don’t know why) ඒක හරියන එකක් නෑ. ඒ නිසා එළඹෙන මැයි දිනේ වෙනුවෙන් ජනරළ වමට කරන මැයි දින යෝජනාවක් තියෙනවා. ඒ තමයි, වම උත්තර සෙවිය යුතු ගැටලූවක් ලෙස මේ තත්වය හඳුනා ගන්න කියන යෝජනාව.
ඒ ප‍්‍රශ්නයට වම හරියට පිළිතුරු හොයනකං මැයි දිනේ දි පෙළපාළි යන්න කතා කරන රතු සහෝදරයන්ට කම්කරුවො වචනයෙන් නොකිව්වත් භාවිතාවෙන් දෙන පිළිතුරක් තියෙනවා. ඒක තමයි ‘‘ ඕගොල්ලො පෙළපාළි යන්න. අපිට වෙන වැඩ තියෙනවා.’’ කියන එක.
ඊළඟට අප සලකා බැලිය යුතු දෙයක් තමයි මැයි දින පෙළපාළිවල දී හඩ නැඟනා සටන් පාඨ මොනවද කියන එක. මේ සටන් පාඨවලින් අතිබහුතරයකම තියෙන්නෙ ආර්ථික හා සුබසාධන ඉල්ලීම්. ඒවා හරිම ආකර්ෂණීයයි. ඒත් අපිට ඒ්වා ඉල්ලන්න වෙලා තියෙන්නෙ අවම ජීවන තත්වයක් හෝ අවම මානව නිදහසක් හෝ දෙන්න සූදානම් නැති පාලකයන්ගෙන්. ඒ නිසා මේ ඉල්ලීම්, සටන් පාඨ බවට පත් වූ පමණින් ඒවා පාලකයන් ඉටු කරන්නෙ නෑ. ඒවා ඉටු කරන්න ධනපති පාලකයන්ට ඕනකමක් නෑ! ඒ යෝජනා ඉටු කරන්න ඔවුන්ට හැකියාවකුත් නෑ!

කළ යුත්තේ කුමක්ද ?
ඉතින් එහෙම නම්, වමේ ව්‍යාපාරයට තියෙන වැඬේ තමයි කම්කරුවා ඉදිරියේ ධනපතියන් විසින් තම නොහැකියාව හා ඕනෑ නැතිකම ප‍්‍රකට කරන සෑම මොහොතක්ම කම්කරුවාට ධනපති පන්තියේ මේ නියම ස්වරූපය වටහා දීම. කම්කරු දිනය හෝ අරගල භූමිය සෑම විටම කම්කරුවාට ඒ අවබොධය ලබා දෙන වැඩබිමක් – පාසලක් බවට පත් කර නොගන්නා තාක් ඉටු වෙන්නේ නැති සටන් පාඨ මොර දෙමින් පෙළපාළි යන්නට කම්කරුවන් ඒ යැයි සිතීම විහිළුවක්.
ඉතින් කම්කරු පන්තිය සමඟ විහිළු කරනවා වෙනුවට ඔවුන් වෙත දේශපාලන විඥානය ලබා දීමේ අරගලය අරඹන්නට වම සූදානම් නම් ආර්ථික ඉල්ලීම් ඉක්මවා යන දේශපාලන අරගලයක් වෙනුවෙන් කම්කරුවන් ඉදිරියට ගැනීමට වමට හැකි වේවි. ඒ සඳහා ‘‘කළ යුත්තේ කුමක්ද ?’’ කියන කාරණාව අපි නොකීවාට ලෙනින් අවධාරණය කර ඇති වග පමණක් කියන්නට අප කැමැතිය.
ප‍්‍රියන්ත ලියනගේ

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි