චීනයේ කොවිඩ් එන්නතක් එරට මිලියනයකට දැනටම දිලා ...

චීනයේ කොවිඩ් එන්නතක් එරට මිලියනයකට දැනටම දිලා .... කොවිඩ්-19 හදිසි එන්නත් භාවිත වැඩසටහන යටතේ චීන රජයේ අනුමැතිය ඇතිව එරට පර්යේෂණාත්මක සීනෝෆාම් කොවිඩ්-19 එන්නත මේ වනවිටත් මිලියනයකට ආසන්න පිරිසකට ලබාදී ඇති බව එම සමාගමේ සභාපතිවරයා තහවුරු කර ඇති බව ‘CNN‘ වාර්තා කරයි. සභාපති ලියු ජින්ෂෙන් උපුටා දක්වමින් සීනෝෆාම් සමාගම පවසන්නේ එන්නත ලබාගත් අයගෙන් මේ වනවිට කිසිදු බරපතල අහිතකර අතුරු ආබාධයක් පෙන්වූවෙකු ගැන වාර්තා නොවන බවය. “හදිසි භාවිත අවසරය මත, අපි දැන්ටමත් එය මිලියනයකට ආසන්න ජනතාවක් වෙත ලබාදී තිබෙනවා. බරපතල අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ කිසිදු වාර්තාවක් අපට ලැබී නැහැ. සුළු රෝග ලක්ෂණ ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණයි” ලියු පැවසීය. වසංගතය අතරතුර ලොව පුරා රටවල් 150කට වැඩි ගණනකට ගොස් ඇති චීන ඉදිකිරීම් කම්කරුවන්ට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ සිසුන්ට මෙම එන්නත ලබාදී ඇති බවත් ඔවුන්ගෙන් කිසිවෙකුට ආසාදනයක් වාර්තා වී නොමැති බවත් ලියු වැඩිදුරටත් පවසයි. ඔහු පසුගිය නොවැම්බර් 6දා කියා සිටියේ මෙම හදිසි එන්නත් ලබාගෙන පසුව විදේශගත වූ පුද්ගලයින් 56,000ක් සිටින බවය. “උදාහරණයක් ලෙස අන්තර්ජාතික සමාගමක එහි එක් විදේශීය කාර්යාලයක සේවකයන් 99ක් සිටිනවා. ඔවුන්ගෙන් 81 දෙනෙකුට එන්නත් ලබා දී තිබුණා. පසුව කාර්යාලයේ ආසාදනය පැතිර යාමක් සිදුවුණා. එන්නත ලබා නොගත් 18 දෙනාගෙන් 10 දෙනෙකු ආසාදනය වී තිබුණත්, එන්නත ලබාගත් අයගෙන් කිසිවෙකු ආසාදනය වී තිබුණේ නැහැ.” ඔහු පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඊජිප්තුව, ජෝර්දානය, පේරු සහ ආර්ජන්ටිනාව ඇතුළු රටවල් 10ක 60,000කට ආසන්න පිරිසක් සම්බන්ධව මෙම එන්නතෙහි 3 වැනි අදියර සායනික අත්හදා බැලීම් වෙන වෙනම සිදුකර ඇති බව ඔහු පවසයි. පසුගිය ජුලි මාසයේ සිටම චීන ඖෂධ නිෂ්පාදකයන් හදිසි භාවිත වැඩසටහන යටතේ අධි අවදානම් වෘත්තීන්හි නියුතු පුද්ගලයින්ට පර්යේෂණාත්මක එන්නත් ලබා දී ඇති අතර, සායනික අත්හදා බැලීම් මගින් ඔවුන්ගේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව මුළුමනින්ම සනාථ කිරීමට පෙර එන්නත් අපේක්ෂකයන්ට සීමිත පරිමාණයකින් භාවිත කිරීමට ඉඩ සලසනු ලැබීය. එමෙන්ම පරීක්ෂණාත්මක කොවිඩ්-19 එන්නත් චීනයේ සමහර ප්‍රදේශවල මහජනතාවට පවා ලබාදී ඇති අතර සමහර පුරවැසියන් රට පුරා වේගයෙන් මාත්‍රාවක් ලබා ගැනීමට පෙළඹී ඇති බවද වාර්තා වෙයි. මේ අතර ජර්මනිය සහ එක්සත් ජනපදය එක්ව නිපදවන ෆයිසර් එන්නත 95%ක ඵලදායීතාවක් පෙන්වන බව පසුගියදා සඳහන් කළ අතර, එය වැඩිහිටියන්ට පවා කිසිදු බරපතළ ආරක්ෂණ ගැටලුවක් ඇති නොකරන බව කීය. එමෙන්ම මොඩෙර්නා සමාගමද නිවේදනය කළේ ඔවුන් සතු එන්නත 94.5%ක ඵලදායීතාවක් පෙන්වන බවය. එහිදී ෆයිසර් එන්නත සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයේ හදිසි භාවිත අවසරය ලබා ගැනීමට දැනටමත් ඉල්ලුම් කර ඇත. ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලිය යටතේ මේ වනවිට එන්නතක් පිළිබඳ යම් සුබවාදී තත්ත්වයක් ලොව පුරා ඉස්මතු වෙමින් පැවතියත්, එවැනි එන්නතක් ලෝකයේ බහුතරයක් රටවල් වෙත ලැබීමට යම් කාලයක් ගතවන නිසා දැනටමත් කොවිඩ්-19 පාලනය කරන මහජන සෞඛ්‍ය පුරුදු අත්නොහරින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...