ආචාර ධර්ම කියන්නෙ හෘදය සාක්ෂියයි - දිලීප අබේසේකර


deleepaදිලීප අබේසේකර යන නාමය මෙරට පාඨකයන්ට අමුතුවෙන් විස්තර කර හඳුන්වා දිය යුතු නැති තරම් ය. පිටපත් රචකයකු නිර්මාණ අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු, ලේඛකයකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක් පුරා ඔහු තම වපසරිය ශ්‍රී ලංකා සමාජය මත මුදාහරිමින් සිටි. ජාත්‍යන්තර සම්භාවනාවට පත් ෂෙහාන් ගුණසේකරගේ,
‘චයිනමන්’ කෘතිය, සිංහලයට නඟමින් දිලීප, දේශීය පාඨක ප්‍රජාව සමඟ යළි ගනුදෙනුවකට සැරසී සිටින මොහොතක, ‘සිළුමිණ’ ඔහු සමඟ සිදුකළ කතාබහකි මේ.
අම්මා තාත්තා එක්ක ගත කරපු කාලෙ ගැන දිලීපට තියෙන මතකය මොන වගේ ද?
මෙහෙමයි මම තාමත් ජීවත් වෙන්නේ අම්මත් එක්ක. තාත්තා නැති වෙද්දි මට අවුරුදු 12ක් විතර ඇති. තාත්තා ජීවතුන් අතර නැති වුණත් අදටත් එහෙම හැඟීමක් මට දැනෙන්නේ නැහැ.
දිලීපගේ තාත්තා රටේ නාමධාරී පුද්ගලයෙක්. ඒක කොහොමද ඔබට බලපෑවේ?
ලොකු වෙනසක් දැනුණෙ නැහැ. ඒ කාලේ අද වගේ ලොකු මාධ්‍ය ආශ්‍රයක් තිබුණෙත් නැහැනේ. කොහොමටත් ඒ කාලේ උදවිය තමන්ගේ හැකියාවන් අනෙක් දේවල්වලට අදාළ කරගත්තේ නැහැ.
ඉස්කෝලේ ගියෙ කොහෙට ද?
ඉස්සෙල්ලම ගියේ අශෝක විද්‍යාලයට. ශිෂ්‍යත්වෙන් පස්සේ ආනන්ද විද්‍යාලෙට ඇතුළත් වුණා. මම උසස් පෙළ කළේ ලංකාවේ නෙමෙයි. ඒ කාලේ දකුණේ තිබුණු තත්ත්වයත් එක්ක මට විදේශගත වෙන්න සිද්ධ වුණා. අපේ තාත්තගේ මල්ලි කෙනෙක්ට නයිජීරියාවේ රස්සාවක් ලැබුණා. එයත් එක්ක මාත් ගියා.
ආනන්දෙ කියන්නෙ ක්‍රීඩාවට බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රසිද්ධ පාසලක්. ඔබට ඒවා අදාළ වුණේ කොහොම ද?
ක්‍රීඩාවට වඩා නාට්‍ය, සාහිත්‍ය පැත්තේ වැඩ කටයුතු ගොඩක් කළා.
ඉස්කෝලේ සමකාලීනයෝ වුණේ කවුද?
මාවන් අතපත්තු මගේ සමකාලීනයෙක්.
ක්‍රිකට් ගැන උනන්දුවක් තිබුණෙ නැත්ද?
ඒ කාලේ අපිට පොදුවේ කථා කිරීමට තිබුණු මාතෘකාවලින් ප්‍රධානතම එකක් තමයි ක්‍රිකට්. ඒ උනන්දුව තිබුණා.
නයිජිරියාවේ ගත කරපු ජීවිතය මොන ‍වගෙයි ද?
මම එහෙ වැඩි කාලයක් හිටියෙ නැහැ. විභාගේ ගන්නකල් විතරයි හිටියේ. ඊට පස්සේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක් වන වෙබ්ස්ටර්හි ස්විට්සර්ලන්ත ශාඛාවේ ශිෂ්‍යයෙක් හැටියට මම ඇතුළත් වුණා. එහෙත් අපේ බාප්පා කෙනෙක් හිටියා. එයාගේ පවුල එහෙ හිටියේ. මම විශ්ව විද්‍යාලයට ගියේ, එහේ ඉඳලයි.
උපාධියට කළේ මොන විෂයයන් ද?
ජාත්‍යන්තර සබඳතා හා සමාජ විද්‍යාව.
ආපහු ලංකාවට ආවේ මොන කාලේ ද?
අනූගණන්වල මැද.
ඒ ඇවිත් මොකද කළේ?
අහම්බෙන් වගේ ෆීනික්ස් දැන්වීම් ප්‍රචාරක ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
අහම්බෙන්, වගේ කිව්වේ?
මගේ තාත්තාත් ඒ ක්ෂේත්‍රයේ වැඩ කරලා තිබුණා. ඒ එක්කම තාත්තගේ සමකාලීනයෝත් එතැන හිටියා. එතැන අවස්ථාවක් ලැබෙන්න ඒ කාරණා දෙකම හේතුවක් වුණා.
ඒ වෙත්දි ලංකාවට තරමක ආගන්තුක විෂයක් වූ ජාත්‍යන්තර සම්බන්ධතා හදාරපු ඔබ ඒ පැත්තෙන් ඉස්සරහට යන්න හිතුවේ නැත්තේ ඇයි?
ඒ කාලේ තිබුණු වාතාවරණය ඒකට එතරම් තල්ලුවක් දුන්නේ නැහැ. ඒ විෂයට අදාළ කාරණා ලංකාවේ සිද්ධ වෙන්නේ ටිකක් වෙනස් විදිහට ය කියලා මට තේරුණා. විශේෂයෙන්ම ගොඩක් දේශපාලන බලපෑම් එහෙම තිබුණා.
“ෆීනික්ස්” එකේ මොනතරම් කාලයක් හිටිය ද?
සෑහෙන කාලයක් හිටියා. අවුරුදුවලින් කිව්වොත් හතක්, අටක් විතර ඇති.
මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට ඒ අත්දැකීම් උදව් වුණේ මොන විදිහට ද ?
එතැන බොහෝම නිදහස තියෙන තැනක්. ඒ වෙත්දී මේ ක්ෂේත්‍රයේ අනෙක් තැන්වල ගොඩක් හිටියේ විදේශිකයන්. ඒත් ෆීනික්ස් එකේ එහෙම කියලා විදේශිකයෝ හිටියේ නැහැ. ඒ අය ආවා ගියාට ලංකාවේ සංස්කෘතියත් එක්ක ඒ අය බද්ධ වී හිටියා. ඒ තුළ ලැබුණ නිදහස, අලුත් වෙනස් දෑ කිරීමට අවශ්‍ය උත්තේජනය සැපයුවා වගේම ඉදිරිය කරා ගෙන යෑමට අවශ්‍ය ශක්තිය ද නිර්මාණය කළා.
ඒ රැකියාවෙන් දිලීපට පළමුවෙන්ම ලැබුණු වැටුප කීය ද?
හරියටම මතක නැහැ. ඒ කාලේ ඕනෑම කෙනෙක් එන්නේ සාමාන්‍ය මට්ටමෙන්. ලොකු පඩිවලට නෙවෙයි, ආවේ. ඉගෙන ගත්තේ පිටරට ද ලංකාවේ කියන එක ඒ හැටි අදාළ වුණේ නැහැ. හැම කෙනෙක්ම වගේ පටන්ගත්තේ පල්ලෙහාම මට්ටමින්. එහෙම ඇවිත් අවුරුදු පහක්, හයක් ගතවෙනකොටයි තමන්ට හරි වටිනාකමක් හැදෙන්නේ. අද වන විට ඒ සියල්ල වෙනස් වී තියෙනවා. සාමාන්‍යයෙන් ඒ කාලේ කෙනෙක් පටන්ගත්තේ රුපියල් පන්දහක් වගේ ගාණකින්. උපාධියක් තියෙන කෙනෙක් වුණත් පටන්ගත්තේ ඒ පඩියෙන්.
ෆීනික්ස් එකෙන් කොතැනට ද ගියේ?
ඊට පස්සේ ජේ. ඩබ්ලිව්. ටී. සහ ලින්ටාස් ආයතනවල වැඩ කළා.
ඔබේම කියලා ආයතනයක් පටන්ගත්තේ ඊට පස්සෙ ද?
ඔව්. ඒක මගේම එකක් නෙවෙයි. යාළුවෝ කිහිප දෙනෙක් එක්ක කරන වැඩක්.
ලංකාවේ ගොඩක් දැන්වීම් ප්‍රචාරක ආයතනවලට දාලා තියෙන්නේ ඉංග්‍රීසි නම්. ඒත් ඔබලා එතැනින් වෙනස් වෙනවා. ‘හීන්සැරය’ මොකක්ද මේ නමේ නිධාන කථාව?
ඒකත් අර අපි කැමැති වෙලා හිටපු රටාවත් එක්ක ගිය එකක්. මේක අපි පොඩි කාලේ අහපු කථාවක්නේ. නමක් දාන්න තීරණය කළාට පස්සේ හොඳ අකුර විදිහට ලැබුණේ ‘හ’ යන්න. හ යන්නෙන් නමක් දාන එක ලෙහෙසි නැහැනේ. වෙන කතන්දරයකදි මේ නම මතුවෙලා එහෙම්මම ඒක අපි තියා ගත්තා.
මේ වෙත්දි දැන්වීම් ප්‍රචාරණය කියන්නේ බොහෝම ජනප්‍රිය විෂය පරාසයක්. ක්ෂේත්‍රයේ ආයතන වැහි වැහැලා. ඒ අතරින් දිලිපලාගේ අනන්‍යතාව මොකක්ද?
මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන්වීම් ප්‍රචාරක ආයතන ඕනැවට වඩා තමන්ව මාකට් කරගන්න ගතියක් තියෙනවා. ඒකනේ වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. පැහැදිලිවම ඒක තිබිය යුත්තේ මීට වඩා අඩුවෙන්. මේක අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි. අපි ඉන්නේ මේක මැද්දේ. අපි ඉන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේවත් ව්‍යාපාරික තැනකවත් පාරිභෝගිකයාගේ තැනත් නෙමෙයි. ඒ ලෝක දෙකම පෙනෙන තැනකයි අපි ඉන්නේ. ඒ නිසා දෙපැත්තටම හොඳක් වෙනවට අපි කැමැතියි.
ඔහොම මැද තැනකින් බලලා තමන්ගේ සේවාදායකයන්ව සතුටු කරන්න පුළුවන් ද?
අපිත් එක්ක ඉන්න කට්ටිය සතුටුනම්, අපිට ඒ ඇති. ඒක හොඳටම ප්‍රමාණවත්.
ලංකාවේ, ‘ඇඩ්වර්ටයිසින්’ ඇතුළේ සදාචාර විනිශ්චයන්ට, ආචාර ධර්මවලට, ඒ හැටි වැදගත්කමක් ලබා නොදෙන ප්‍රවාණතාවක් පොදුවේ ගත්තාහම පෙනෙන්නට තියෙනවා. දිලීප ඒක කියවන්නේ කොහොම ද?
ඔය ගැන අහත්දි තමන් එහෙම නැහැ කියලා ඕනෑම කෙනෙක් කියයි. නමුත් තමන්ගේ පසුබිම එක්ක තමන්ට ඒක හරි ද වැරදි ද කියලා පෙනෙන මට්ටම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි පෞද්ගලිකව ජීවත්වන විදිහටම තමයි මේ රස්සාවත් කරන්නේ. උදාහරණයක් විදිහට සමහර දේවල්වලට අපි කැමැති නැහැ. ඒ වගේ වැඩ අපි භාරගන්නේ නැහැ.
ඒ කියන්නේ දිලීපට වඩා වැදගත් වෙන්නේ හෘදය සාක්ෂිය?
ආචාර ධර්ම, කියන්නේ එච්චර තමයි.
එතකොට ලාභ පතන්නන්ට මොකද වෙන්නෙ?
ලාභය කියන්නේ අතුරු ඵලයක්. අපි වැඩ කළ යුත්තේ ‘ලාභය තකාම’ නෙමෙයි. අපි යම්කිසි දෙයක් හොඳට කළොත් ඒකට ලැබෙන ගාස්තුවක් තියෙනවා. ඒක දිගටම හොඳට කිරීමෙන් ලැබෙන දේ තමයි ලාභය. ඒක අතුරු ඵලයක්
දිලීපලා පටන්ගනිත්දි මේ ක්ෂේත්‍රය තිබුණු තැන හා මේ වන විට එය හසු වන තත්ත්වය පිළිබඳව තියෙන තක්සේරුව මොන වගෙයි ද?
මම හිතන්නේ ඔබ අහන්නේ ගුණාත්මකව ඇතිව තියෙන වෙනස පිළිබඳව විය යුතුයි. මෙහෙමයි. මේක ගුණාත්මක පැත්තට ගිය කාලයක් තිබුණා. දැන් ඒක ටිකක් දියාරූ වී තියෙනවා. සවුත්තුයි කියලා මම කියන්නේ නැහැ. නමුත් විවිධ හේතු උඩ දියාරු වූ ස්වභාවයක් පෙනෙන්නට තියෙනවා. විශේෂයෙන්ම වගකීමක් නැතුව මේක කරන තත්ත්වයකට ඇවිත් තියෙනවා. ඉස්සර යම් දැනුවත් වීමක් ඇතුළේ සමාජය පිළිබඳ වගකීමක් ඇතුව කළ දේවල් දැන් ඒ තරම් හිතන්නේ නැතුව ඔහේ කරලා දාන තත්ත්වයක් ඇති වී තියෙනවා.
ඒ වැරදීම වුණේ කොහොම කියල ද ඔබ හිතන්නෙ?
ඒක අර මම කලින් කිව්ව පෞද්ගලික ප්‍රතිපත්තිවල තියෙන දියාරුකම ඇතුළේ වෙන දෙයක්.
අද වෙද්දී දේශපාලන ව්‍යාපෘති එක්ක වැඩ කිරීම දැන්වීම් ප්‍රචාරක ආයතනවල ප්‍රධාන ධනෝපායන මාර්ගයක් වී තිබෙනවා. ඒ ගැන දිලීපට තියෙන උනන්දුව මොන වගෙයි ද?
අපි නම් දේශපාලනඥයන් එක්ක වැඩ කරලම නැහැ. සාමාන්‍ය ඡන්දදායක මට්ටමේ ඉන්න අපි කැමැතියි. එතකොට අපේ දේශපාලනය කතිරයකට සීමා වෙනවා. එච්චරයි. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ගත්තට පස්සේ ඒවා නිශ්චිතයි. ඒවා ඕනැ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එතැන වහපු දෙයක් නැහැ. ඒත් පුද්ගලයෙක් ගැන, අද අපි කියන දේ තව මාස දෙක තුනකින් වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයෝ කියන්නේ අපිට තේරුම් ගන්න අමාරුම උදවියනේ. හුදු කට වචනයකට නොදන්නා කෙනෙක්ව හොඳයි කියලා තව කෙනෙක්ට අපි රෙකමදාරුවක් කරන්නේ කොහොම ද?
දිලීපලා හැම තිස්සේම විකුණන්නේ හොඳ බඩු විතර ද?
ඒක අපේ විශ්වාසය අනුව තීරණය වන දෙයක්. සමහර නිෂ්පාදන ගැන විශ්වාසයක් පැහැදීමක් නොමැති වීම ඇතුළේ අපි ඕනැතරම් වැඩ අත්හැරලා තියෙනවා.
එහෙම වැඩ අත්හැරීම තුළ මේ ක්ෂේත්‍රයේ පැවැත්මක් තියෙනව ද?
එහෙම ඉන්න පුළුවන් ය කියලා අපි පෙන්නලා තියෙනවා.
දේශපාලනය ගැන දිලීපට තියෙන උනන්දුව මොන වගෙයි ද?
සාමාන්‍ය ඡන්දදායකයකුට ඒ ගැන තියෙන උනන්දුව මටත් තියෙනවා. එතැනින් එහාට ඒක ගෙනියන්න අපි කැමැති නැහැ. අපේ රස්සාවල් ඇතුළේ ඒක කරන්න අපි කැමැති නැහැ. පොදු මනුස්සයා ඉන්නේ ‍කොතැන ද රටේ ඒ මනුස්සයා එක්ක යන්න පුළුවන් ගමනක් ගියාම ඇති කියන තැන අපි ඉන්නවා.
දිලීපගේ තාත්තා රටේ අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ කෙනෙක්. ඒ පැත්තට ඔබේ උනන්දුව අඩු ඇයි?
මූලිකවම එදයි, අදයි අතර ලොකු කාල වෙනසක් තියෙනවා. අද බලාපොරොත්තු වෙන්නේ එහෙම දේවල් නෙවෙයි. ඒ කාලේ නිර්මාණය කියන දේට ලොකු වැදගත්කමක් තිබුණා. දැන් නිර්මාණයට වඩා වැදගත්කමක් ලැබී තියෙන්නේ ඒක වටේ තියෙන දේවල්වලටයි. අද නළුවෝ ඉන්නවා කරපු චරිත නැහැ. අධ්‍යක්ෂවරු ඉන්නවා කරපු චිත්‍රපටි නැහැ. ගායකයෝ ඉන්නවා, සින්දුවක් අපිට මතක නැහැ. එහෙම කාලෙක අපිට කරන්න දේවල් නැහැ. අනික් අතට අපි අගය කරපු පැරැණි කෘතිවල තියෙන දේවල් ඒ මට්ටමට අපිට කරන්න අමාරුයි; කියලා හිතෙනවා.
ඔබ අලුතින් පොතක් පරිවර්තනය කර තියෙනවා. ඒ ගැනත් දැනගන්න කැමැතියි?
ඒ පොත ලිව්වේ අපේ ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙක්. ඒ පොත කියෙව්වට පස්සේ ලංකාවේ රචකයෝ අල්ලන්නේ නැති පැත්තක් ඒක අල්ලලා තියෙනවා කියලා මට තේරුණා. අපි සාමාන්‍යයෙන් කියන්න අකැමැති හංගගෙන ඉන්න දේවල්, ඒක බොහෝම සුන්දර විදිහට කියලා තියෙනවා. ඇත්තටම ගොඩක් ප්‍රශ්නවලදි අපිට අපේ පැත්තටමයි ඇඟිල්ල දික්කරගන්න වෙන්නෙ. ඒ පොත පසුබිම් වෙන්නෙ ක්‍රිකට් ගැන. මම විශාල ක්‍රිකට් ලෝලියෙක් නෙමෙයි. ඒත් ක්‍රිකට් කියන්නෙ අපේ සමාජයට ලොකු බලපෑමක් කළ හැකි හා කරපු ක්‍රීඩාවක්. ඒත් සින්දුවකදී දෙකකදී හැරෙන්නට ඒක අපේ කලාවට වද්දගෙන තියෙන්නේ අඩුවෙන්. ක්‍රිකට්වලින් අපේ සමාජයට සිදුව ඇති බලපෑම තවම අපි අපේ කලාවට වැද්දගෙන නැහැ. අපි ඒක දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඊට වඩා අඩුවෙන් බලපෑම් කරපු දේවල් ගැන අපි කතා කරලා තියෙනවා. ඒත් අර ගැන නැහැ. බොහෝ වටිනාකම් තියාගෙන අපි ඒවා නිකං දියකර හරින තත්ත්වයක් තියෙනවා ය කියලා ෂෙහාන්ගේ පොතේදී ඒක පෙන්නලා තියෙනවා.
ලංකාවේ මාකට් එක ඇතුළේ ඔබේ මේ වැඩේ අල්ලලා යයි කියලා හිතනව ද?
මම ඒ ගැන හිතුවේ නැහැ. මේ පොත අනුවාදය කරද්දී ඒ ගැන මම හිතුවේ නැහැ. මම හිතුවේ ඊට වඩා වෙනස් දේවල් ටිකක් ගැනයි. ලංකාවේ පොතකට කියලා වැඩිම ජාත්‍යන්තර අවධානයක් ලැබුණේ මේ පොතට. ඒක අපේ පාඨකයෝ කියවිය යුතුයි කියලා මම හිතුවා. ඒක එකක්. ඒ වගේම මේක අපි බලාපොරොත්තු වන විදිහේ නවකතාවක් නෙමෙයි. මේක බොහෝම සරල වැඩක්. අලුත් පාඨක පිරිසක් මේ වගේ නවකතාවකින් හදාගන්න පුළුවන් ය කියලා මම හිතනවා.
ඔබ තවමත් තනිකඩයෙක්. ඒ ජීවිතයට මේ තරම් ඔබ ප්‍රිය ඇයි?
ඒක හොඳයි. හොඳ තැනකට පිවිසුණහම ඒක පුළුවන් තරම් පවත්වාගෙන යන්න මම උත්සාහ කරනවා.
සාකච්ඡා කෙළේ
චාමර ලක්ෂාන් කුමාර

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...