ලංකාව ලෝක කුසලානය දිනන බව ඉන්දීය ඔට්ටුකරුවන් කලින් ම දැන සිටලා..?

ලංකාව ලෝක කුසලානය දිනන බව ඉන්දීය ඔට්ටුකරුවන් කලින් ම දැන සිටලා..?ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් සමගම ගම්පහ සන්දනම් පිච්චේ කුමාර් මිය ගියේ ය. මරණයට හේතුව වශයෙන් වෛද්‍යවරු දක්වා තිබුණේ හාදයාබාධයකි. සන්දනම්ට හෘදයාබාධය වැලඳෙන්නේ ඉන්දීය කණ්ඩායම පරාජය වනු දැකීමෙනි. නමින් සන්දනම් වුවද ඔහු ඉන්දීය ජාතිකයකු නොවේ. ඔහුගේ ජාතිය ශ්‍රී ලංකා දෙමළ ය. එසේනම් ඉන්දියාව පරාජය වන බව දැකීමෙන් හෘදයාබාධයක් සෑදීමට තරම් ඔහුට ඉන්දියාව ගැන ඇති ජාතික කැක්කුම කුමක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.
එහෙත් ඇත්තටම සන්දනම් මිය යන්නේ ඉන්දියාව පරාජය වීමෙන් ඇති වූ ශෝකය නිසා නොවේ. ඇත්තටම ඔහුට මිය යන්නේ ඒ හේතුවෙන් ඔහුගේ ඔට්ටුව පරාද වීමෙන් ඇති වූ හිතේ දුක නිසාය. කෙසේවුව ද සන්දනම් ගේ මරණය එක් කරුණක් සාක්ෂි සහිතව අපට තහවුරු කර තිබේ. ඒ දැන් ශ්‍රී ලංකාවේද ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම හෙවත් ක්‍රිකට් සූදුව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
විස්සයි විස්ස සහ අයිපීඑල් තරග සමග ඉන්දියාව ක්‍රිකට් සූදු පිටියක් වූ බව හැමෝම දන්නා කරුණකි. මේ වන විට ඉන්දියාවේ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම් එළිපිට සිදුවන අතර ඒ වෙනුවෙන්ම රේස් බුකි සමාගම් ද බිහිවී තිබේ.
ලංකාවේ ඔට්ටුව පැරදුණු දුකෙන් ළය පැලී මිය ගිය සන්දනම් ඒ වෙනුවෙන් පරදු තැබූ මුදල කොතෙක්දැයි පැහැදිලිව ප්‍රකාශ වී නැත.
සන්දනම් යනු සුළු ව්‍යාපාරිකයෙක් නිසා එය එතරම් විශාල මුදලක් නොවන්නට ද ඉඩ ඇත. එහෙත් ඉන්දියාවේ ම මාධ්‍ය වාර්තා කර සිටි අන්දමට පසුගිය ඉරිදා පැවති විස්සයි විස්ස අවසන් මහා තරගය වෙනුවෙන් පමණක් රේස් බුකි හරහා ඔට්ටු අල්ලා ඇති මුළු මුදල ඉන්දියානු රුපියල් කෝටි හාරදහසක් බවයි. ඔවුන් මෙහිදි ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, කොල්කටා ඇතුළු සියලුම ප්‍රධාන නගරවලට අමතරව බංග්ලාදේශයේ ඩකා සහ ඩුබායි නගරයේ සිදුවූ ඔට්ටු ඇල්ලීම් ද ගණනය කර තිබේ.
ලංකාවේ සන්දනම්ලා කොළඹ සිට ඔට්ටු ඇල්ලුව ද වාසනාවකට මෙන් ඉන්දීය ගණනය කිරීම්වලදී කොළඹ නගරය ඇතුළත් ව තිබුණේ නැත. ඇතැම් විට ඒ ඔවුන්ට දැනෙන තරම් ඔට්ටු ප්‍රමාණයක් කොළඹින් නොලැබුණු නිසා වන්නට ද පුළුවන. නැතහොත් ඉන්දියාවේ සංසරණය වූ ඔට්ටු මුදල්වලට සාපේක්ෂව ලංකාවේ ඔට්ටු නොසලකා හැරිය හැකි තරම් කුඩා ප්‍රමාණයේ ඒවා වීම නිසා වන්නට ද හැකි ය.
සැබවින්ම ඔට්ටු ඇල්ලීම යනු ක්‍රීඩාවේ අඳුරුතම පැතිකඩයි. ඒ ගැන තවත් වාද විවාද නැත. ඉන්දීය ක්‍රීඩකයෝ මුදලට විකිණෙන්නේ පොළේ විකිණීමට ඇති කොස් පොළොස් පරිද්දෙනි. වාසනාවකට මෙන් තවමත් ලංකාවේ ක්‍රීඩකයන්ට එවන් වාතාවරණයක් අත් වී නොමැත.‍ ඇතැම්විට ඒ දේශයේ සංස්කෘතිය සහ සභ්‍යත්වය මෙන්ම වාසනාව නිසා ද වන්නට පුළුවන.
කෙසේ වෙතත් දැන් දැන් සන්දනම්ලා ඔට්ටු අල්ලමින් සිටින බවට සාක්ෂි ලැබෙන බැවින් අනාගතයේ දී මේ තත්වයට කුමක් වේ දැයි අනාවැකි පැවසීමට නොහැකි ය.
ලංකාවේ සන්දනම් තම ඔට්ටු මුදල් වතුරේ යනු දැක හෘදයාබාධයක් සැදී මිය ගිය ද ඉන්දියාවෙන් නම් එවන් මරණයක් වාර්තා වී නැත.
ඉන්දි‍යාවේ පොලීසියම පවසන්නේ ඉන්දියාවේ සිදු වන ස්ත්‍රී දුෂණ ඉතා විශෘල සංඛ්‍යාවක් පොලීසියට පවා වාර්තා නොවන බවයි. ඒ අනුව ඇත්තම තත්ත්වය කුමක්දැයි අප දන්නේ නැත. කෙසේ වුවද ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම පරිපාලනය කළ රේස් බුකිවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ විට එක් කරුණක් පැහැදිලිය. එනම් මෙවර ලෝක කුසලානය දිනා ගන්නේ ශ්‍රී ලංකාව බවට ඉන්දියාවේ ඔට්ටු අල්ලන්නන් ඉතා නිවැරදි නිරීක්ෂණයක සිටි බවය. ඒ බව හොඳින්ම පැහැදිලි වන්නේ රේස් බුකි කිහිපයක ඔට්ටු සඳහා ගෙවීම් අනුපාත නිරීක්ෂනය කළ විට ය.
ඉන්දියාවේ ඉතා ප්‍රසිද්ධ ‘බෙටඩ්’ රේස් ඔට්ටු ආයතනය ඉන්දියාව දිනන බවට රුපියල් හතරක් ඔට්ටු අල්ලන්නේ නම් සැබවින්ම ඉන්දියාව ජයග්‍රහණය කළ හොත් රුපියල් හයක් ගෙවන බවට තම ලන්සුව තබා තිබුණි.
එහෙත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන බවට රුපියල් හයක් ඔට්ටු ඇල්ලුවේ නම් ගෙවන මුදල රුපියල් පහක් විය. තවත් ප්‍රසිද්ධ ‘බෙට් වික්ටර්’ රේස් ආයතනය ඉන්දිය ජයග්‍රහණය වෙනුවෙන් රුපියල් අටක් ඔට්ටු අල්ලන්නේ නම් ජයග්‍රහණය කළ හොත් රුපියල් එකොළහක් ද ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් රුපියල් එකොළහට දහයක් ද වශයෙන් ලන්සු තබා තිබුණි.
‘කොරල්’ ආයතනය එය ඉන්දියාවට හතරට හයක් සහ ශ්‍රී ලංකාවට හයට පහක් ලෙසින් විය. ‘ලැබ්‍රොකිස්’ ආයතනය ඉන්දියාවට අටට දහතුනක් ලෙසින් ද ලංකාවට පහට හතරක් ලෙසින් ද ප්‍රකාශ කර තිබුණි.
‘පැඩි පවර් ‘ආයතනය ලබා දුන් ඔට්ටු ඉන්දියාවට අටට එකොළහක් ද ලංකාවට එකොළහට දහයක් ද වශයෙන් වූ අතර ‘ස්කයි බෙට්’ ආයතනය ඉන්දියාවට හතරට හයක් ද ලංකාවට හයට පහක් ද වශයෙන් විය.
මේ පරදු තැබීම්වලින් පැහැදිලි වන්නේ ඉන්දියාව ජයග්‍රහණය කරන බවට වූ ඔට්ටු ඇල්ලීම් අඩු වූ බවයි. එබැවින් ඉන්දියාව ජයග්‍රහණය කරන බවට ලැබුණු ඔට්ටු වෙනුවෙන් වැඩි මුදලක් ගෙවීමට රේස් බුකි සූදානමින් සිට ඇත. ලංකාව ජයග්‍රහණය කරන බවට වැඩි ඔට්ටු ප්‍රමාණයක් ලැබුණු බැවින් ජයග්‍රාහයකන්ට ලැබී ඇත්තේ ඔට්ටුවලට සාපේක්ෂව අඩු මුදලකි.
ඉන්දියානු රුපියල් කෝටි හාරදහසක් යනු සුළුපටු මුදලක් නොවේ. එය මේ වන විට ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම්වලදී වාර්තා වූ වැඩිම මුදල ද වේ.
දැන් මේ ඔට්ටු ඇල්ලීම් වෙනුවෙන් අන්තර්ජාලය සහ චන්ද්‍රිකා දුරකථන තාක්ෂණය ද භාවිත කරන බවට වාර්තා ‍ලැබී තිබේ. මේ සියල්ල ක්‍රීඩාවේ දියුණුවට හේතු වන යහ ලක්ෂණ ලෙසින් නම් දැකීමට නොහැකිය.
තරගය පරාජය වූ ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයෙන් පිටත් වී තිබුණේ ජනමාධ්‍යවලට වසන් වෙමිනි. ඒ වන විටත් යුවරාජ් සිං ගේ නිවසට ගල් ප්‍රහාරයක් ද එල්ල වූ බවට වාර්තා වී අවසන් ය.
ග්‍රීක සාහිත්‍යට අනුව ක්‍රීඩාව මිනිසුන්ට දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයකි.
එහි වටිනාකම එපමණය. ක්‍රිඩාව මිනිස් සමාජයට ලබා දෙන ධනාත්මක අගයන් මේ යැයි කිව නොහැකි ය. එහෙත් යහපතට වඩා වැඩි ඉඩක් ඉක්මනින් අයහපත දිනා ගන්නා ලෝකයේ දෙවියන්ගේ තෑග්ගට මිනිසා පරදු තැබීම පුදුමයට කරුණක් නොවන්නේ ය.
එමෙන්ම අනාගතයේ දී මේ ඔට්ටු ඇල්ලීම්වලට නිල වටිනාකමක් ලබා දී ඔට්ටු ඇල්ලීම් වෙනුවෙන් ම ක්‍රීඩාව පවත්වාගෙන යන වාතාවරණයක් ඇති වුවද එය ද පුදුමයට කරුණක් නොවනු ඇත.
ටිරෝනි වෑවලගේ
සිළුමිණ

No comments:

post

MSTI Maritime Academy Launches Sri Lanka’s Most Advanced and Comprehensive Ship Handling Simulator.

    Established in 1986 as Sri Lanka’s first privately-owned maritime training school, MSTI Maritime Academy today holds a prestigious l...

Popular Posts ජනප්‍රිය ලිපි