අලුත්ගම ගැටුම: පොලිස් ප්‍රධානීන් අතර ගැටුමක්

සරෝජ් පතිරණ
බීබීසී සිංහල සේවය
පසුගිය ඉරිදා අලුත්ගමදී හටගත් ගැටුම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනකු දේශපාලන බලපෑම් මත පොලිසිය විසින් වහාම නිදහස් කරන ලද බව පොලිස් ආරංචි මාර්ග බීබීසී සංදේශයට පැවසීය.
බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසකගේ බලපෑම් මත මෙම සැකකරුවන් පිරිස නිදහස් කරන මෙන් කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන් ට නියෝග කරන ලද බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නට චෝදනා එල්ල වී තිබේ.
එම නියෝගය තරයේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් අලුත්ගම සහ බේරුවල පොලිස් වසම් භාරව කටයුතු කිරීමෙන් ඉවත් කොට ඇති බවත්, ගාමිණී නවරත්න නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඔහුට එරෙහිව පොලිස්පතිවරයාට චෝදනා පත්‍රයක් භාර දී ඇති බවත් ජනමාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරවලින් දහස් ගණනක පිරිසකට උන් හිටි තැන් අහිමි විය
එහෙත් එම චෝදනා සියල්ල සත්‍යයෙන් තොර බව නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සංදේශයට පැවසීය.

'මේ දක්වා චෝදනා පත්‍රයක් නෑ'

"අත් අඩංගුවේ සිටින සැකකරුවන් නිදහස් කිරීම පොලිස් ස්ථානාධිපතිගේ අභිමතය පරිදි හෝ අධිකරණය මගින් සිදුවිය යුතු බවට නීතියේ සඳහන් වෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හැකියාවක් නෑ එවැනි නිදහස් කිරීමක් කරන්න," යන්නයි සංදේශය මතු කළ ප්‍රශ්නයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරය වූයේ.
පසුගිය සඳුදා අගමැතිවරයාගේ නායකත්වයෙන් කළුතරදී රැස්වීමක් පැවැත්වෙන අතරවාරයේ එහි පැමිණි භික්ෂුන් වහන්සේ පිරිසක් අදාළ සැකකරුවන් පිරිස නිදහස් නොකරන්නේ නම් යලි උද්ඝෝෂණ දියත් කරන බවට තර්ජනය කරන ලද බවයි, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
"මෙතනදි සාධාරණ සැකයක් මතුවෙනවා කළුතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් අතින් යම්කිසි රාජකාරී පැහැර හැරීමක් සිදුවෙලා ඔහු ඒක වහ ගන්න මෙවැනි කතා පතුරනවද කියල"
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න
ඉන් අනතුරුව සැකකරුවන් නිදහස් කරන මෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නවරත්නට නියෝග කොට ඇති බවත් එම වාර්තාවල සඳහන්.
"එසේ කරන්නේ නම් එය ලිඛිතව සිදුකළ යුතුයි. මම එවැනි නියෝග කිරීමක් කිසිවිට සිදුකර නෑ. මට එහෙම නිදහස් කරන්න කියල කිසිම දේශපාලනඥයෙක් අණ කරලත් නෑ," යනුවෙන්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නවරත්න සංදේශයට පැවසීය.
ජුනි 15 වෙනිදා සහ 16 වෙනිදා සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වීමට නොහැකිවීම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් තමන්ගෙන් සිදුවූ වරද වසා ගැනීම සඳහා මෙවැනි කතාවක් ප්‍රබන්ධ කිරීමට පෙළඹිය හැකි බවද ඔහු පැවසීය.
"මෙතනදි සාධාරණ සැකයක් මතුවෙනවා කළුතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් අතින් යම්කිසි රාජකාරී පැහැර හැරීමක් සිදුවෙලා ඔහු ඒක වහ ගන්න මෙවැනි කතා පතුරනවද කියල," යනුවෙන් ඔහු සඳහන් කළේය.
එසේනම් ඉන්ද්‍රන් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ තිබූ බේරුවල සහ අලුත්ගම ප්‍රදේශ ඔහුගෙන් ඉවත්කරන ලද්දේ කවර හේතුවක් නිසාදැයි ප්‍රශ්න කළ විට ගාමිණී නවරත්න සඳහන් කළේ එය තමාගේ විෂයයෙන් පරිබාහිර කරුණක් බවයි.
නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන්ට එරෙහිව විනය පරීක්ෂණයක් නිර්දේශ කරමින් චෝදනා පත්‍රයක් නිකුත් කළේදැයි විමසූ අවස්ථාවේ එවැන්නක් 'මේ දක්වා' සිදුවී නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මේ පිළිබඳව කරුණු විමසීම පිණිස නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන් සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

No comments:

post

A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026.

 A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026. The Sri Lankan financial landscape in 2026 presents a fascina...

Popular Posts ජනප්‍රිය ලිපි