යක්ෂාවගමන බලියට පෙර වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්..!

යක්ෂාවගමන බලියට පෙර වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්..!


(ලංකා ඊ නිව්ස්- 2015.පෙබ.18, පෙ.ව.2.15) වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී  පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න.
ජනාධිපතිවරනයෙන් පැරදීමෙන් පසු රාජපක්ෂ මහතා තමට විරුද්ධව අසත්‍ය චෝදනා කැරන්නේ යැයි කියා ඊට පිළිතුරු ලෙස පුවත් පත් නිවේදන දෙකක් නිකුත් කළේ ය.  එම නිවේදන දෙකෙන්ම පිළිතුරු නොදුන් පහත සඳහන් ප්‍රශ්ණ දහයකට පිළිතුරු දෙන ලෙස වාසුදේවට සහ වීරවංශට අපි අභියෝග කරමු.  
1.    රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරය සඳහා රටපුරාම ජනයා ආන්ඩුවේ බස් රථවලින්  ගෙන ගිය බව රටම දන්නා කරුණකි. ඒ දිනවල කියා සිටියේ එම බස් රථ ලබා ගත්තේ මුදල් ගෙවීමෙන් පසු බවය. නමුත් දැන් හෙළිදරව් වී ඇත්තේ එම ප්‍රකාශය මහා බොරුවක් බවත්  එම බස් ගාස්තු වශයෙන් රුපියල් මිලියන 140ක් තවමත් ගෙවීමට තිබෙන බවත් ය. ලංගමය යනු මහා ජනයාගේ වස්තුවකි. මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට යෝජනා කිරීමට පෙර වාසුදේව හෝ වීරවංශ මෙම මුදල පොලිය සමඟ ගෙවන්නේ ද?
2.     රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අතෝරක් නැතිව රාජ්‍ය පාලිත මාධ්‍යයන්හි වෙළඳ දැන්වීම් පල කළ බව රටම දනී, කවර පාර්ශවයක් වුවත් මාධ්‍යයෙහි දැන්වීම් පළ කරන්නේ නම් ඊට පෙර මුදල් ගෙවිය යුතු ය. රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරයට එම නීතිය බල නොපෑ අතර තවමත් එම දැන්වීම් සඳහා ගෙවීමට ජාතික වස්තුවක් වන රූපවාහිනී සංස්ථාවට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 500 කි. මෙම මුදල ගෙවන්නේ වීරවංශ ද? වාසුදේවද?
3.    රාජපක්ෂ මහතා ලහි ලහියේ අරලිය ගහ මන්දිරයෙන් පසුබැස යාමෙන් පසු එහි තිබී අඩු මිල නෝට්ටු ලෙස රුපියල් කෝටි 1500 ක් සොයා ගන්නා ලදී. මේ මුදල කාගේ ද? කෙළෙස එක් කරන ලද්දේ ද? එපමණ මුදලක් අරලිය ගහ මන්දිරයේ තබා ගත්තේ මන්ද? ඒ ප්‍රශ්ණය මුදල් වලට ආසා වීරවංශයට ය.
4.    පරාජයෙන් පසු ජනෙල් කූරු අතරින් කතා කරමින් රාජපක්ෂ කීවේ තමා ඊලමේ ඡන්ද වලින් පරාජය වූ බවය.තමා තවමත් සිංහලයින්ගේ ජනාධිපති බවත් ඔහු කීවේ ය. එය වර්ගවාදී කතාවක් ද නැත් ද?  2005 ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂවරු උතුරු නැගෙනහිර දෙමළ ජනයා ඡන්දය දීමෙන් වැළැක්වීමට රුපියල් මිලියන 200 ක් ගෙවූ බවට දිව්රුම් පෙත්සමකින් කියා සිටියේ අද රාජපක්ෂ මහතාගේ සගයකුව සිටින ටිරාන් අලස් ය. මේ කරුණු දෙකම වාසුදේවට යොමු කැරේ.
5.    ගෝඨාභය රාජපක්ෂ යටතේ කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රහසිගතව පවත්වා ගෙන ගිය රක්නා ලංකා  ආයුධ ගබඩාවෙන් මැෂින් තුවක්කු 3000 – 5000 අතර ප්‍රමාණයකට වූ දෙයක් නැති බව වාර්තා වී තිබේ. මෙම ආයුධ දැන් තිබෙන්නේ කොහි ද? එම ආයුධ යළි සොයා දීමට වීරවංශ සහ වාසුදේව ගන්නා පියවර මොනවාද?  මෙම ආයුධ අතුරුදහන්වීමට රාජපක්ෂවරු වගකිව යුතු නැත්ද?
6.    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කනිෂ්ඨ නායකයකු වන නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා මුදල් නොගෙවා ගුවන් හමුදා යානා වලින් ගුවන් ගමන් වාර 25ක් ලබා දුන්නේ කෙසේ ද? එම ගුවන් ගමන් සඳහා ගෙවා නැති ගාස්තුව වන රුපියල් ලක්ෂ 158 ට ගෙවන්නේ වීරවංශද? වාසුදේව ද?   පසුගිය දෙසැ 12 දා ශිරන්ති රාජපක්ෂ රත්මලානේ සිට මහරගමට කිලෝ මීටර 10ක් යෑමටත් ගුවන් යානයක් යොදා ගෙන ඇති අතර එහි බිල පමනක් පන් ලක්ෂ විසි දහසකි. එම බිල ද වැටෙන්නේ ආන්ඩුවේ ගිනුමට ය. වීරවංශගේ එවැනි ගුවන් ගමන් ද ඇතුලුව ලංකාන්ඩුව ගුවන් හමුදාවට ලක්ෂ 350 ක් තවම ගෙවිය යුතුව තිබේ. මේ බිල් ගෙවන්නේ වාසුදේවගේ අප්පලාගේ බූදලයෙන් ද?
7.    සේවයේ යෙදී සිටියදී දේශපාලනය කළ බවට චෝදනා කොට යුද සමයේ යුද හමුදාපති වූ ජෙනරල් පොන්සේකා සිර ගත කරන ලද්දේ රාජපක්ෂ ආන්ඩුවය.  වීරවංශ සහ වාසුදේව ඊට අත් ඉස්සුවේ උජාරුවෙනි. දැන් එක් දිනක් හෝ යුද බිමෙහි නොසිටි නාවික හමුදාවෙහි සිටි කාලය තුළ සුර සැප විදිමින් රගර් ගැසූ යෝශිත රාජපක්ෂ හමුදා සේවයේ සිටින කාලය අතරතුර දේශපාලනය සහ ලාභ උපයන ව්‍යාපාරයක යෙදීම සම්බන්ධයෙන් සිරගත නොකළ යුතු ද? ඔහු දැන් විදේශ ගත වී ඇත්තේ නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වෙද්දී නොවේ ද? යෝශිත සිරගත කිරීමට වීරවංශ - වාසුදේව එකඟද ?
8.    ජනාධිපති රාජපක්ෂ බිරිද ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානය වූ සිරිලිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදු වැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිනුම ( අංක 143100146235069) සඳහා ශිරන්ති රාජපක්ෂ නමට 222222222V නම් ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් භාවිතා කරන ලද්දේ කෙසේ ද?  එවැනි ව්‍යාජ හැදුනුම් පතක් ඇය සතුව තිබුනේ ද? එවැනි හොර ගිනුමක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට දිය යුතු දඬුවම කුමක්දැයි වාසුදේවට කිව හැකි ද? මෙම හොර හැඳුනුම් පත් සකස් කරන ලද්දේ කෙලෙසකදැයි ඒ පිලිබඳ විශේෂඥවරයකු වන වීරවංශට පැහැදිළි කළ හැකි ද?
9.    සිගරට් අසුරනයන්හි සිගරට්වලින් වන විනාශය දක්වන වෙළඳ දැන්වීම් සියයට 80 කළ යුතු බවට ඇතිවූ සාකච්ජා සඳහා එවකට  ජනාධිපතිව සිටි රාජපක්ෂ දුම්කොළ සමාගම් ද කැඳවූ බවත් දකුණු ආසියාවේ අන් රටවල නැති තරම් සියයට 80 කම එවැනි දැන්වීම් අවශ්‍ය මන්දැයි සමාගම්කරුවන්  ඉදිරියේම තමාගෙන් ඇසූ බවත් ජනාධිපති සිරිසේන පවසයි. මෙය ඇත්තක් නම් එය මරණයේ වෙළෙන්දන් වන දුම්කොළ සමාගම්වලට කඩේ යෑමක්  නොවේ ද? මෙම ප්‍රකාශය බොරුවක් නම් සිය නායකයා බේරා ගැනීමට නීති‍‍‍‍‍‍‍‍ඥ වාසුදේව උසාවි යන්නේ කවදා ද?
10. රාජපක්ෂ ආන්ඩුවේ බලවතා වූ ගෝඨාභය රාජපක්ෂගේ ගජයකු වූ දුමින්ද සිල්වා සිය ධනය ඉපයූයේ මහා පරිමාණ කුඩු ජාවාරමෙන් බවට  දැන් සාක්ෂි හෙළිවෙමින් තිබේ. මෙම චෝදනා අධිකරණය ඉදිරියෙහි සනාථ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ද මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ගේ ගජයකු බවත් දුමින්ද වැනි මැරයින්ට රැකවරණය ලබා දුන්නේ ගෝඨාභය බවත් පිළිගෙන බැසිල් රාජපක්ෂ පවුලෙන් පැන්නූ පරිදි මොහුද මුහුදෙන් එතෙරට පන්නා යවනවා ද?
මෙහි ඉදිරිපත් කර ඇත්තේ රාජපක්ෂ පවුලට කෙලින්ම සම්බන්ධ කරැණු දහයක් පමණි. රාජපක්ෂ පවුල වටා සිටි සජින් වාස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මර්වින් සිල්වා, ගාමිනී සෙනරත්,  යනාදීන්ගේ දූෂණ වංචා ඇතුළත් දීර්ඝ ප්‍රශ්නාවලියක් වීරවංශ - වාසුදේවගේ ඊළග යක්ෂාවගමනය රැස්වීමට ඉදිරිපත් කරමු.
( ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මන්ඩපය විසින් සකස් කරන ලද පත්‍රිකාවක සංස්කරණය කරන ලද පිටපතකි)

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...